සතුට සැනසුම පිරි යුගදිවියකට නොවරදින මඟ.

සතුට සැනසුම පිරි යුගදිවියකට නොවරදින මඟ.

Friday, December 25, 2015

සමහරුන්ට කොයි දේකත් අගය දැනෙන්නේ ටික කාලයයි.

      සිත කියන්නේ පුදුමාකාර දෙයක්.  වෙනස් නොවන දෙයක් ලෝකයේ නෑ. හැම දේටම වඩා ඉක්මනට සිත වෙනස් වෙනවා.කෙනෙකුගේ හිතේ තියෙන දේවල් දැනගන්න තාක්ෂණික මෙවලමක් තවම බිහිවෙලා නෑ. කෙනෙකුගේ සිතුවිලි ක්‍රියාත්මක වන විදිය දැනගන්න පුළුවන් වෙන්නෙ ජන්ම පත්‍රයෙන් විතරයි.උපතේදී ග්‍රහයො පිහිටලා තිබෙන ආකාරය අනුව, දශා, අන්තර්දශා ගතවන ආකාරය අනුව, ගෝචර ග්‍රහචාරය අනුව සිතුවිලි වෙනස් වන ආකාරය ජන්ම පත්‍රය තුළින් දැක ගන්න පුළුවන්. ඒත්, දෙදෙනෙකුගේ සිතුවිලි ක්‍රියාත්මක වන විදිය මොනවගේ දැයි නොබලා පොරොන්දම් විස්ස තුළ කොටුවෙලා ගැළපීම පරික්ෂා කරන ක්‍රමයක් තමයි අද බොහෝ දෙනෙක් කරන්නේ.  පොරොන්දම් විස්ස පමණක් ගළපා විවාහය කරගෙන අමාරුවෙ වැටෙන පිරිස සුළුපටු නෑ.
    " ඒ දවස්වල මගෙ මොළේට හෙණ ගහළා තිබුණද මන්දා...මම මොකට මේ මනුස්සයට කැමති වුණාද ? හරියට අහසයි පොළවයි වගේ. කිසිම ගැළපීමක් නෑ...."   විවාහයෙන් පස්සේ ඔය විදියට පශ්චාත්තාප වෙන අය ඕනැ තරම් ඉන්නවා. විවාහයෙන් පස්සේ මොන තරම් කල්පනා කළත්, වැරදුණු තැන් හෙව්වත් වැඩක් වෙන්නෙ නෑ. විවාහ වෙන්න කලින් හොඳට හිතල බලන්න ඕනැ. දෙදෙනෙක් දෙපොළක ඉඳගෙන ආදරේ කරන ජීවිතයට වඩා එක වහළක් යට ගත කරන ජීවිතය ගොඩක් වෙනස්. 
    සමහරුන්ට ඕනැම දේක අගය වටිනාකම ඉක්මනින්ම අඩුවෙලා යනවා. මුලදි තියෙන ආදරය, ඇල්ම, ලෙන්ගතුකම ටිකෙන් ටික අඩුවෙනවා. මුලදි හැම දෙයක්ම හොයන බලන සමහරු කල් යනකොට කෑවද බිව්වද කියලවත් බලන්නෙ නෑ. " ඉස්සර මාව නැතුව බැරුව නෙ හිටියේ...ඒකනෙ මම කැමති වුණේ. දැන් මේ මනුස්සයට මා ගැන වගක්වත් නෑ නේ......" යුග දිවියේ ගැටලු ගැන කතාකරන ගොඩක් දෙනෙක් ඔහොම කියනවා. එයා පසු කාලයේ දී වෙනස් වෙන කෙනෙක්ද කියලා මුලින්ම ජන්ම පත්‍රය ආශ්‍රයෙන් දැනගත්තා නම් ඔහොම කියන්න වෙන්නේ නෑ. පොරොන්දම් විස්සෙන් වැඩි ගණනක් ගැළපුණු හින්දා, වෙන කිසිම දෙයක් ගැන තැකීමක් නොකර විවාහ වුණු අය ඔය විදියට අමාරුවෙ වැටෙන්න පුළුවන්. 
   කෙනෙක් ගේ සිත ගැන කරුණු හෙළි කරන ප්‍රධානම ග්‍රහයා තමයි සඳු හෙවත් චන්ද්‍රයා. සඳු දුර්වල වුණාම සිතුවිලි දූෂ්‍ය වෙනවා.සඳු පාප ග්‍රහයින්ගේ බලපෑමට ලක්වෙලා ඉන්නවා නම් සිත පහසුවෙන්ම පාපයට පෙළඹෙනවා. එහෙම කෙනෙකු ගේ පිටට පෙනෙන ශාන්තදායක ස්වභාවය අභ්‍යන්තරයේ නෑ. සඳු ග්‍රහයා යහපත්ව, නිරවුල්ව පිහිටන තරමට තමයි කෙනෙක් සංවේදී, කාරුණික, උණුවෙන හදවතක් ඇති කෙනෙක්  වෙන්නේ. කෙනෙක් අවංකද චපලද කියලා බලන කොට එයාගේ කේන්දරයේ සඳු ගැන විශේෂයෙන් සැළකිලිමත් වෙන්න ඕනෑ.
     සමහර ස්වාමිපුරුෂයො වෙනත් කාන්තාවක් එක්ක කාමරයක ඉන්න ගමන් තමන්ගෙ බිරිඳට කියනවා හදිස්සි බිස්නස් වැඩක ඉන්නෙ කියලා. සමහරු කට ඇරියොත් කියන්නෙ බොරුමයි.  කාලයත් එක්ක කියපු කරපු හැම දෙයක්ම එළියට එනකොට යුගදිවිය අපායක් බවට පත් වෙනවා. රාහු, කේතු හෝ නීච චන්ද්‍රයා දෙවැන්නේ ඉන්න අය බොරු කියන්න දක්ෂයි. එක බොරුවක් වහන්න බොරු සීයක් කියයි.   යුගදිවිය අපායක් බවට පත් වුණාම බිරිඳ දරුවොත් එක්ක ගඟට පනිනවා. පහු ගිය කාලෙ නිල්වලා ගඟටම කීදෙනෙක් පැන්නද..
       ඇතැම් ජ්‍යොතිෂවේදීන් ගේ වැරදි උපදෙස් හේතුවෙන් බොහෝ දෙනෙක් දුකට පත්වෙනවා. පුවත්පත්වල පලකරන මංගල දැන්වීම්වල කේන්දරයේ ග්‍රහ පිහිටීම් පවා සඳහන් කරනවා. කුජ හතේ, සිකුරු දෙකේ, දෙනට නැකත, කන්‍යා ලග්නය...  ඔන්න ඔය විදියට කේන්දරයේ විස්තර දැන්වීමට ඇතුළත් කෙරුවම ඕක දකින අවස්ථාවාදී කපටි පුද්ගලයෙක් ඒ ග්‍රහ පිහිටීම්වලට ගැළපෙන ග්‍රහ පිහිටීම් තියෙන කේන්දරයක් හදාගන්නවා. ඊට පස්සේ ඒ කේන්දරයට රැවටිලා අමාරුවෙ වැටෙනවා. කේන්දරය කියන්නේ පෞද්ගලික දෙයක්. ඒකෙ විස්තරය දැන්වීමට ඇතුළත් කරන්න අවශ්‍ය නෑ. විශේෂයෙන් ගෑණු ළමයින්ගේ කේන්දර  හුවමාරු කරගන්නවා නම් පරිස්සමෙන්. 
     අද කාලයේ වඩු බාස්ලත්  ඉංජිනේරුවෝ විදියට රඟපාලා විවාහ හත අට කරගන්නවා. තියෙන මුදල්, රන් ආභරණ සේරම අරගෙන මාරුවෙනවා. ඊට පස්සේ උසාවි ගානේ ගිහින් ප්‍රශ්නෙ විසඳගන්න වෙනවා. සිද්ධිය පත්තරේ "දෙය්යෝ සාක්කි" තීරයේ පලවෙනවා. ගෙදරට එන මුල් දවසෙම මුළු සේසතටම විදින්න පුළුවන් වැඩකාරයෝ තමයි අද ඉන්නේ. පදිංචිය කැනඩාවෙ නිවාඩුවට ආවෙ කිව්වා නම් ඇති. ඔක්කොම එකතුකරලා දෙනවා.
      කේතු කියන්නේ ඉතාමත් ගුප්ත රහස්‍ය ග්‍රහයෙක්. කේතු ලග්නයේ ඉන්න බොහෝ දෙනෙක් ගුප්තයි. තේරුම් ගන්න අමාරුයි. තමන්ගේ අදහස් අරමුණු අනිත් අයට හෙළි කරන්නෙ නෑ. හිතේ තියෙන දේවල් නෙමෙයි එළියට දාන්නෙ. තමන් විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනාගෙ ලග්නයේ හෙවත් පළමු භාවයේ කේතු ඉන්නවා නම් එයා ගැන ටිකක් වැඩිපුර විස්තර හොයල දැනගන්න එක නුවණට හුරුයි. විස්තර හොයල දැනගන්න ඕනැ කියන්නේ එයාගෙන් අහල දැනගන්න එක නෙමෙයි. වටින් පිටින් විස්තර හොයාගන්න ඕනැ. කේතු හත් වැනි භාවයේ ඉන්න අයට බොහෝ විට ලැබෙන්නේ ගුප්ත සහකරුවෙක් හෝ සහකාරියක්. 
     සමහර නෝනලා වාහනෙන් බැහැලා ඇවිත් කේන්දරය බලාගන්නවා. මහත්තයා වාහනේට වෙලා ඉන්නවා නෝනා කේන්දරය බලාගෙන එනකල්. හැබැයි නෝනා ඇවිත් බලාගන්නේ නෝනගේ කේන්දරයවත් මහත්තයාගේ කේන්දරයවත් නෙමෙයි වෙනත් මහත්තයෙකු ගේ කේන්දරයක්. නෝනව වාහනේ එක්කගෙන ආවට මහත්තයා දන්නෙ නෑ නෝනා පනින්න හදන්නෙ මොනවගේ පිම්මක්ද කියලා. මහත්තයව  දාලා නෝනා තව කෙනෙක් එක්ක ගියාට පස්සෙ තමයි මහත්තයා නෝනගෙ තරම දැනගන්නේ. එදාට ඉතින් මිනී මැරෙන්නත් පුළුවන්.
     ඔරුව දියට දාලා කඩතොළු තියෙනවද කියලා බැලුවට වැඩක් නෑ. ඔරුව හිල් වෙලාද කියලා බලන්න ඕනැ දියට දාන්න කලිනුයි. පුද්ගලයා කවුද මොනවගේ කෙනෙක්ද කියලා හොයල බලන්න ඕනැ යුග දිවියට එළඹෙන්න පෙර යි. 
    පිටරටවල රැකියා කරන නෝනලා මහත්තුරු බොහෝ දෙනෙක් කියන දෙයක් තියෙනවා. " ළඟකදි ඉඳලා හරියට කතාකරන්නෙ නෑ. කතා කළත් වචනයයි දෙකයි ඒකත් ආදරේකින් නෙමයි....මම කතා කරනවට කතා කරනවා වගේ තමයි. මම ලංකාවෙන් පිටත් වෙනකොට කඳුළු පුරවගෙන හිටපු කෙනා දැන් ආදරෙන් වචනයක් කතා කරන්නෙ නෑ.  මට දැන් මෙහෙට වෙලා රැකියාව කරගන්නත් බෑ. ඔක්කොම දමල ගහලා ලංකාවට යන්න හිතෙනවා...."     ඔන්න ඔය වගේ ප්‍රශ්න ගොඩක් දෙනෙකුට තියෙනවා.
   වැරදි තෝරාගැනීම් හේතුවෙන් මතුවන ගැටලු කරදර ඉවසාගැනීමට නොහැකිව, ඇතැමුන්  පදිංචිය අතහැර වෙනත් ප්‍රදේශයකට ගොස් පදිංචි වන අවස්ථාත් තිබෙනවා. වරක් ඉහළ පවුලක තරුණියක් හිතුවක්කාර විවාහයකට එළඹුණා. තරුණයා හමුදා සේවය අතහැර දමා පැමිණ පාතාල ක්‍රියාකාරකම් වල නියැලුණු අයෙක්. ටික දවසක් ගත වෙද්දී තරුණිය ගේ දෙමාපියන්ට මේ තරුණයාගෙන් බලපෑම් එල්ල වෙන්න පටන් ගත්තා. සියලු දේපළ තමන්ගේ නමට ලියා දෙන මෙන් තර්ජනය කරන්න වුණා. අවසානයේ දියණිය ව කෙසේ හෝ එම තරුණයාගෙන් ගළවා ගත් දෙමාපියන්,  පදිංචි ප්‍රදේශය අතහැර වෙනත් ප්‍රදේශයකට යන්න ගියා. 
    ඇතැමුන් කේන්දරය ගැන විශ්වාසය තබන්නට පටන් ගන්නේ සියල්ල සිදු වුණාට පසුව යි. "ඒ කාලෙ ඕවා ගැන හිතුවෙ නෑ නෙ... හණමිටි අදහස් කියලා ඕවට හිනා වුණා මිසක් කේන්දර ගැන විශ්වාසයක් තිබුණෙ නෑ...."  ඔහොම කියන අය ඕනැ තරම් ඉන්නවා. අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වසා තේරුමක් නෑ. පනින්න පෙර සිතා බැලීම හැම අතින්ම ගුණදායකයි.
   
ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය 

දේශමාන්‍ය ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර