සතුට සැනසුම පිරි යුගදිවියකට නොවරදින මඟ.

සතුට සැනසුම පිරි යුගදිවියකට නොවරදින මඟ.

Sunday, January 10, 2016

සසර පුරුද්දට එකතුවෙන හැමෝම 
හැමදාම එකට ඉන්නවද ?

   සමහරු ආදරෙන් බැඳෙනවා. ආදරය විවාහය දක්වාම පවත්වා ගන්නවා. සමහරුන්ගේ ආදරය පවතින්නේ ඉතාම සුළු කාලයයි. " අපේ ආදරය හොරු අරන් ගියා වගේ...හිතාගන්නවත් බැරි විදියට වෙන් වෙන්න වුණා.."  ඔය විදියට කියන අය මොන තරම් ඉන්නවද. සමහරු ආදරය කරනවා ඒත් විවාහ වෙන්න ලැබෙන්නෙ නෑ. " අපේ ආදරයට දැන් අවුරුදු දොළහක් වෙනවා.ඒත් තවම විවාහ වෙන්න බැරි වුණා. කවදා විවාහ වෙන්න පුළුවන් වෙයිද කියලා හිතාගන්න බෑ...ඔහොම කියන අයත් ඉන්නවා. 

මෙහි දැක්වෙන පළමු කේන්දරයේ හිමිකාරිය ඉපදී තිබෙන්නේ 1962. 04. 16 දින යි. දෙවැනි කේන්දරයේ හිමිකරුවා ඉපදී තිබෙන්නේ 1984. 02. 10 දින යි. එහෙමනම් දෙන්නා අතර වයස් පරතරය අවුරුදු 22 යි. අවුරුදු 54 ක කාන්තාවක් අවුරුදු 32 ක තරුණයෙක් සමග පෙමින් බැඳීම වරදක් යැයි කෙනෙකුට සිතෙන්න පුළුවන්. ඒත් සසර පුරුද්දට මේ දෙන්නා ආදරෙන් බැඳුණා. දෙන්නගේ ආදරයට දැන් වසර ගණනාවක් ගතවෙලා.ඒත් දෙන්නට දෙන්නා අවංකව ආදරෙන් ඉන්නවා. වයස් පරතරය හින්දා විවාහ වෙන්න විදියක් නෑ. 
 සසර පුරුද්දට හමුවුණත්විවාහ ජිවිතයට ඇතුළු වෙලා එක වහළක් යට එකට ජිවත් වෙන්න බැරි අයත් ඉන්නවා. වයස් පරතරය වැඩිවීම, විරෝධතා එල්ලවීම වැනි හේතු මත එහෙම සිදුවන අවස්ථා තියෙනවා.
      සසර පුරුද්දට කීප දෙනෙක් එකවර හමුවන අවස්ථාත් තියෙනවා. ඒවගේ අවස්ථාවලදීත් නොයෙක් ගැටලු පැටළිලි මතුවෙනවා. මෑතකදි යුවතියක් දුරකථනයෙන් ඇමතුවා. මේ යුවතිය තරුණයෙක් සමග ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගෙන තිබුණා. දෙන්නා අතර ඇතිවුණු යම් ප්‍රශ්නයක් හේතුවෙන් සම්බන්ධය නතරවෙලා.ඔය අතරෙ මේ යුවතියට වෙනත් තරුණයෙක් මුණගැහුණා. කළින් පෙම්වතාව අමතක කිරීමේ හැකියාවක් නොතිබුණත් අලුත හමුවුණු තරුණයා වෙත බොහොම ආදරයෙන් නැඹුරු වුණා. දෙන්නා දැඩිව ආදරෙන් කාලය ගෙවන අතරෙදි කළින් පෙම්වතා නැවත මේ යුවතිය හොයාගෙන ආවා. සිදුවුණු වැරදි අඩුපාඩු අමතක කරළා හිටියා වගේ නැවත ආදරෙන් ඉඳිමු කියලා ඒ තරුණයා යෝජනා කළා. මේ යුවතියට පළමු පෙම්වතාව  ප්‍රතික්ෂේප කරන්නත් බැරිවුණා. දැන් දෙන්නටම ආදරේ කරගෙන ඉන්නවා. ඒත් හිතේ ලොකු ප්‍රශ්නයක්. එක්කෙනෙක්ව අනිවාර්යයෙන්ම ඈත් කරන්නම වෙනවා. මේ යුවතිය අහනවා මම දැන් මොකද කරන්න ඕනැ කියලා. මතුවෙලා තියෙන්නේ බරපතල ප්‍රශ්නයක්. මේ තුන් දෙනාගෙම කේන්දර තුළ සසර සම්බන්ධතා පෙන්වන ග්‍රහ පිහිටීම් සටහන්ව පවතිනවා. 
     ආදරය වගේම වෛරයත් සසර පුරුද්දට භවයෙන් භවයට යනවා. තමන්ට හමු වෙලා තියෙන්නේ පෙර භවයේ වෛරක්කාරයෙක් බව සමහරුන්ට අවබෝධ වෙන්නේ විවාහ වී කාලයක් ගතවූවාට පසුව යි. දෙන්නෙකුගේ කේන්දර ගැළපීමේදී මේ දේවල් ගැන අවධානය යොමු කළ යුතුයි. දෙන්නා අතරේ පවතින ආකර්ෂණය ලෙන්ගතුකම යම් කිසි කාලයක දි බිඳ වැටෙනවා දැයි සොයා බැලිය යුතුයි. කේන්දර තුළ සසර සම්බන්ධතා දකින්න තිබුණත් දෙන්නාගෙන් කෙනෙක් ආදරය මුවාවෙන් වෛරය රැගෙන ආ කෙනෙක්දැයි විමසිලිමත් විය යුතුයි. 
      " එයා හවසට ගෙදර එන වෙලාව ළං වෙද්දි පුදුම කළකිරීමක් ඇතිවෙනවා. මොන වැරැද්දකට මට මේ තරම් වද දෙනවද මන්දා...දරුවා හින්දා අයින්වෙලා යන්නත් බෑ. මේ නම් සංසාරේ වෛරක්කාරයෙක්.."  ජිවිත කාලය පුරාම ආදරෙන් ඉන්න හිතාගෙන එකතුවෙන සමහරුන්ට ඔය වගේ ප්‍රශ්න ඇතිවෙනවා. විවාහය සඳහා කේන්දර දෙකක් පරීක්ෂා කිරීම සංකීර්ණ කටයුත්තක්. දෙන්නගේ ගණ, පක්ෂි, යෝනි, ලිංග ආදී පොරොන්දම් ටික විතරක් බලලා ගැළපීම තීරණය කරනවා නම් ඒ දක්ෂ ජ්‍යොතිර්වේදියෙක් නෙමෙයි. 
   අඹු සැමි යුවළක ගේ කේන්දර සටහන් දෙක අංක 03 හා 04 යටතේ දැක්වෙනවා.අංක 03 හිමි කේන්දරය ස්වාමිපුරුෂයාගේ යි. අංක 04 දරන කේන්දර සටහන බිරිඳගේ යි. දරුවන් දෙදෙනෙකුගේ දෙමාපියන් වූවත් මොවුන් දෙදෙනා අතර කිසිම සමගියක් ලෙන්ගතු බවක් නෑ. බිරිඳ කියන දේ සැමියාට අල්ලන්නෙ නෑ. සැමියා කියන දේ බිරිඳට හරියන්නෙ නෑ. මේ වෙනකොට දෙන්නා අතරෙ අඹු සැමි සම්බන්ධයක් නෑ. දරුවන්ගේ දෙමාපියන් ලෙස එක වහළක් යට සිටිනවා පමණයි.විවාහයට පෙර කේන්දර පරික්ෂා කළ ජ්‍යොතිෂවේදියා පවසා ඇත්තේ කේන්දර දෙක ඉතා හොඳින් ගැළපෙන බවයි. කේන්දර දෙකේ හත් වැනි භාව තුළ සිටින රාහු සහ කේතු එකිනෙකට ප්‍රතිවිරුද්ධ ග්‍රහයින් දෙදෙනෙකු බවත් ඒ හේතුවෙන් විවාහය තුළ දෙදෙනා අසමාන අයුරින් කටයුතු කරන බවත් එම ජ්‍යොතිෂවේදියා දැන සිට නෑ.

තමන් වෙත සමීප වන අය සාංසාරික ආදරවන්තයින් ආදරවන්තයන් යැයි බොහෝ දෙනෙකුට සිතෙනවා. මේ සාංසාරික ආදරය දිවි ඇතිතෙක් පවතිනු ඇතැයි ද සිතෙනවා. නමුත් එය එසේම වනවා නම් පෙම්වතුන් පෙම්වතියන්, සැමියන් බිරින්දෑවරුන් මෙතරම් දුක් කරදර, කළකිරීම් වලට ලක්වන්නේත් ඇතැමුන් සියදිවි නසාගන්නෙත් ඇයි ?