සතුට සැනසුම පිරි යුගදිවියකට නොවරදින මඟ.

සතුට සැනසුම පිරි යුගදිවියකට නොවරදින මඟ.

Monday, May 30, 2016

කඩාගන්න පෙර සිතා බලන්න.

ඉදුණු අඹ කියලා අමු අඹ වලට රැවටෙන්න එපා....
ඉදුණු අඹ වගේ පෙනෙන අමු අඹ තියෙනවා....

    අඹ වාරෙට අඹ ගහක් යටට ගිහින් උඩ බැලුවම ඕනැ තරම් අඹ දැකගන්න පුළුවන්. ඔය අඹ අතරේ ඉදුණු අඹ දකින්න ලැබෙනවා. අමු අඹ දකින්න ලැබෙනවා. හැබැයි ඉතින් අමු අඹ ඉදුණු අඹ හොයාගන්න අමාරු අවස්ථාත් තියෙනවා. සමහරු ඉදුණු අඹ කියලා අමු අඹ වලට රැවටෙනවා.අමු අඹ කියලා හිතාගෙන ඉදුණු අඹ අතහැරලා දාන අවස්ථාත් තියෙනවා.
➤ ඉදුණු අඹ වගේ පෙනෙන අමු අඹ තියෙනවා.
➤ අමු අඹ වගේ පෙනෙන ඉදුණු අඹ තියෙනවා.
➤ අමු අඹ වගේ පෙනෙන අමු අඹ තියෙනවා.
➤ ඉදුණු අඹ වගේ පෙනෙන ඉදුණු අඹ තියෙනවා.
    සමහර අඹ අමුයි. ඒත් පේන්නෙ ඉදුණු අඹ වගේමයි. ගොඩක් දෙනෙක් මේ අමු අඹ වලට රැවටෙනවා. කඩාගෙන බැලුවට පස්සේ තමයි දැනගන්නේ අමු අඹ කියලා. සමහර අඹ පේන්නේ අමු අඹ වගේමයි. හැබැයි ඉදිලා. ඒත් ඉදුණු බව බැලූ බැල්මට පේන්නෙ නෑ.කවුරුවත් ගනන්ගන්නෙත් නෑ. වැඩක් නෑ...අමු අඹ...  කියලා අතඇරලා දානවා. ඉදුණා වගේ පෙනෙන ඉදුණු අඹත් තියෙනවා. ඉදුණු අඹ වගේ පේනවා ඒ වගේම ඉදිලා. අමු අඹ වගේ පෙනෙන අමු අඹත් තියෙනවා. පේන්නෙත් අමු අඹ වගේ ඒ වගේම අමුයි.
     දැන් බලන්න ඔය අමු අඹ, ඉදුණු අඹ වගේ පෙනෙන මනුෂ්‍යයොත් ඉන්නවා නේද කියලා. සමහරු ඉන්නවා හරියට පෙරාපු රත්තරං වගේ. හදවතට දැනෙන්න කතා කරනවා. කටපුරා හිනා වෙනවා. බොහොම වැදගත් විදියට අඳිනවා. හරිම පින්බර විදියට හැසිරෙනවා. ඒත් අභ්‍යන්තරය ගන්න දෙයක් නෑ. ලං කර ගත්තට පස්සෙ තමයි  තේරෙන්නෙ පුද්ගලයා කවුද කියලා. බොහොමයක් ගෑණු ළමයි රැවටෙන්නේ ඔන්න ඔය වගේ අයට තමයි. පහුගිය කාලෙ තරුණියන් කීප දෙනෙක්ම විවාහ කරගත්තු ඔය වගේ අනංගයෙක් නීතියේ රැහැනට කොටුවෙලා තිබුණා. හැමෝටම කියලා තිබුණෙ තමන් වරායෙ උසස් රැකියාවක් කරනවා කියලයි. හැබැයි කරලා තිබුණෙ කොන්දොස්තර වැඩේ. අන්තිමට මෙයාට රැවටිලා තිබුණෙ උපාධිධාරිනියක්. ඔය විදියට දවසකට කී දෙනෙක්නම් ඉදුණු අඹ කියලා අමු අඹ වලට රැවටෙනවද ...සමහරු සමාජයේ බොහොම වැදගත් ගෞරවනීය චරිත විදියට ජීවත්වෙනවා. මේ වගේ කෙනෙක් ගෙන් තමන්ගේ දියණියට විවාහ යෝජනාවක් ඉදිරිපත් වුණාම   දෙමව්පියෝ එක පයින් කැමති වෙනවා. මේ වගේ කෙනෙක් පවුලට සම්බන්ධවෙන එක මොන තරම් වාසනාවක්ද...කේන්දර ඉල්ලන්නයි පොරොන්දම් ගළපන්නයි ඕනැ නෑ..ඒ බොරු වැඩ නවත්තලා ඉක්මනට මේක කරලා දාමු.. ඔහොම කියලා තමන්ගෙ දියණියව අමාරුවෙ දානවා. ඉදුණු අඹ කියලා අමු අඹ වලට රැවටුණු බොහෝ දෙනෙක් ගෙන් ඇමතුම් ලැබෙනවා. බොහොමයක් දෙනා මව් බිමෙන් බැහැරව කටයුතු කරන අය. මොන තරම් දැනුවත් කළත් අදත් හෙටත් ඔය දේ ඔය විදියටම වෙනවා.
     අමු අඹ වගේ පෙනෙන ඉදුණු අඹ තියෙනවා. දැන උගත්කම, බුද්ධිය, ප්‍රඥාව හොඳටම තියෙනවා හැබැයි පේන්නෙ නෑ. පෙන්නන්නෙත් නෑ. කවුරුවත් මේ අයව වැඩිය ගණන් ගන්නෙත් නෑ. ඇතුළ හිස් වුණත් හැම දෙයක්ම සම්පුර්ණයි කියලා පෙන්නන අයට නේ කවුරුත් සළකන්නේ. මේ අය තැනට ගැළපෙන විදියට අවස්ථාවට සරිලන විදියට තමන්ගේ දැනුම ප්‍රඥාව භාවිතා කරලා බොහොම චාම් විදියට ජිවත් වෙනවා. දවසක් රාජ්‍ය බැංකුවකට වයසක පුද්ගලයෙක් ඇවිත් කවුන්ටරයේ හිටපු සේවිකාවකට තමන්ගේ අවශ්‍යතාවය ඉදිරිපත් කළා. සේවිකාව ඒ පුද්ගලයාව ගණනකට ගත්නේ නැතුව අනිත් අයගේ අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කළා. ටිකක් වෙලා නිශ්ශබ්දව හිටපු වයසක පුද්ගලයා තමන්ගේ අවශ්‍යතාවය ඉංග්‍රීසියෙන් පැවසුවා. සේවිකාව කටපුරා හිනා වෙලා එසැනින් අවශ්‍යතාවය ඉටුකරලා දුන්නා.   සමහරු තමන් දන්නා දේවල්, තමන්ගේ තත්වය තරාතිරම පෙන්නන්න කැමති නෑ. කේන්දරයේ සෙනසුරු බලවත් වුනු අය, සෙනසුරු ලග්නගත වුනු අය, ශනි බුධ යෝගය හිමි අය වැඩිය පෙන්නන්න යන්නෙ නෑ. කෙනෙක්ගේ දැනුම, ප්‍රඥාව, උගත්කම මතුපිටින් බලලා තේරුම් ගන්න බැරි අවස්ථා තියෙනවා. අද මහා බලවත් තත්වයට පත්ව තිබෙන බොහෝ රටවල දියුණුවට අඩිතාලම දමා තිබෙන්නේ ඇඟපතින් පොඩි, පෙනුමින් චාම් නමුත් ප්‍රඥාවන්ත නායකයින් බව සත්‍යයක්.
    අමු අඹ වගේ පෙනෙන අමු අඹ වගේ අයත් ඉන්නවා. ඒ අයගේ ගතිගුණ හැසිරීම, කරන කියන දේවල් හැම දෙයක්ම ඉතාමත් පහත් තත්වයක තමයි තියෙන්නේ. ඒ වැරදි හැසිරීම එළිපිටම ප්‍රදර්ශනය කරනවා. ඒ වගේ අය මුහුණු පොතේ බහුලව ඉන්නවා. නිතරම පරුෂ වචන භාවිතා කරනවා. තමන්ගේ නොහොබිනා හැසිරීම හැමෝටම පෙනෙන විදියට පවත්වාගෙන යනවා. හැබැයි එහෙම අයට ප්‍රිය කරන ඒ වගේම අය ඉන්නවා. රට තොටේ සිද්ධවෙන දේවල් ගැන දන්නෙත් නෑ දැනගන්න අවශ්‍යතාවයකුත් නෑ. වැඩකට නැති නිසරු දේවල් එක්කම තමයි ඒ අය ගැවසෙන්නේ. ආගම දහම , ගුරුවර වැඩිහිටි ආදීන් කෙරෙහි ගෞරවයක් නෑ. තමන්ගේ දෙමව්පියන්ව පවා තුට්ටුවකට මායිම් නොකරන අය මොන තරම් ඉන්නවද... මව්වරුන්ගේ දිනය දවසෙදි අම්මව ගෙදරින් එළියට ඇදලා දමන දූරු පුත්තු ගැන පවා අපිට අහන්න ලැබෙනවා.  උතුරු පළාතේ පොලිස් නිලධාරියෙක්ගේ දියණියක් තමන්ගේ ස්වාමි පුරුෂයාගේ පිහි පහරකින් මරණයට පත්වූ පුවතක් දින කීපයකට කලින් වාර්තා වුණා.මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ  තරුණයෙක් සමග ඇතිකරගත්තු ප්‍රේම සම්බන්ධතාවයක් මත හිතුවක්කාර කමට තමයි ඇය විවාහ වෙලා තියෙන්නේ. අන්තිමට ඒ ස්වාමි පුරුෂයාගේ අතින්ම අවසන් ගමන යන්න වුණා. ඒ විතරක් නෙමෙයි අහිංසක අම්මටත් පිහි පාරක් කන්න සිද්ද වුණා. අමු අඹ වගේ පෙනෙන අමු අඹ වලටත් සමහරු ඔය විදියට රැවටෙනවා.
    ඉදුණු අඹ වගේ පෙනෙන ඉදුණු අඹ වගේ අයත් ඉන්නවා.ගුණ යහපත්කම, දැනුම, බුද්ධිය, ප්‍රඥාව හොඳට තියෙනවා. ඒ හැම දෙයක්ම පේන්නත් තියෙනවා. අද කාලයේ මේ වගේ අය අඩුයි. ඒ වගේම මේ වගේ අයට නිසි වටිනාකමක්, තැනක් ලැබෙන්නෙත් නෑ. මනුෂ්‍යයාගේ දැනුම ප්‍රඥාව අඩු වෙනකොට යහපත් ගුණගරුක අයට පිළිගැනීමක්, වටිනාකමක් නැතුව යනවා. විචාර බුද්ධිය, රසවින්දන ශක්තිය, තර්කන හැකියාව තරුණ පරපුර වෙතින් සිඝ්‍රයෙන් ඈත් වෙමින් තියෙනවා. ඉස්සර සංගීත ප්‍රසංගයක් නරඹන්න යන මිනිස්සු  ටී. එම් ජයරත්න, සුනිල් එදිරිසිංහ, ගුණදාස කපුගේ, වික්ටර් රත්නායක, මොහිදීන් බෙග්, සනත් නන්දසිරි, නීලා වික්‍රමසිංහ, මාලිනී බුලත්සිංහල වගේ සම්භාව්‍ය ගායක ගායිකාවෝ වේදිකාවට ගොඩවෙනකල් බලාගෙන හිටියා. අද කාලයේ ඒ වගේ සන්සුන් කලාකරුවන්ට ප්‍රසංග වේදිකාවේ තැනක් නෑ. අද කාලේ අහන්න පුළුවන් ගීත ලියැවෙනවා ඉතාමත් අඩුයි. අහන්න පුළුවන් ගීත ලිව්වත් අහන්න කෙනෙක් නෑ. හැමෝම ජිවත් වෙන්නෙ වේග රිද්මයක. වචනෙ වැරදුණොත් පිහිය ගත්තා ඇන්නා. නැත්නම් වෙඩි තිබ්බා. මේ වගේ කාලයක ගුණ යහපත්, උපශාන්ත මිනිසුන්ට පිළිගැනීමක් ලැබෙන්නෙ නෑ. මේ වගේ අය ජිවිතයට සමීප කරගත්තොත් ජීවිතය බැබළෙනවා. වචනයකින් වුණත් හොඳක් මිසක නරකක් වෙන්නෙ නෑ. 
       තමන් ජිවිතයට සමීප කරගන්න හදන්නේ අමු අඹ ගෙඩියක්ද ඉදුණු අඹ ගෙඩියක්ද කියන එක වේලාසනින් තේරුම් ගත්තොත් අනාගතය සුබදායක වෙනවා. කෙනෙක්ව සමීප කරගන්න කොට වගේම කෙනෙක්ව තමන් වෙතින් දුරස් කරගැනීමේදීත් සැළකිලිමත් වෙන්න ඕනෑ. අමු අඹයක් කියලා හිතාගෙන විසිකරන්න හදන්නේ ඉදුණු අඹයක් වෙන්නත් පුළුවන්.