සතුට සැනසුම පිරි යුගදිවියකට නොවරදින මඟ.

සතුට සැනසුම පිරි යුගදිවියකට නොවරදින මඟ.

Friday, March 6, 2015

දෙදෙනෙකු මුණගැහෙන්නේ සසර පුරුද්දටම ද ?

    'එයාව මම කොහේදි හරි දැකලා තියෙනවා. ඒ ඇස් දෙක මට හොඳට පුරුදුයි. කතා කරන ඇස් දෙකක්....මට හිතෙන්නේ අපි පෙර භවයේ එකට ඉන්න ඇති....'
    හිතට වදින රුපයක් දැක්කම හැම දෙයක්ම හිතෙන්නේ තමන්ගේ වාසියටමයි.නෙත රැඳෙන හැම තැනම පේන්නේ ඒ රුපයම යි. වැඩක් කරන්න ගියත්, නිදාගන්න ගියත් හිතේ මැවෙන්නේ ඒ රූපයම යි. ඒ විදියට හිතට වැදුණු රූපය තමන්ගෙන් දුරස් වෙනකොට දරා ගන්න අමාරු වෙනවා. පෙර භවයෙදිත් ඔය විදියටම සිද්ද වෙන්න ඇති කියලා හිත හදාගන්න එතකොට නම් බෑ. කොහොම වුණත් තමන්ගේ හිතට වැදුණු කෙනා පෙර භවයෙදිත් තමන් සමග දුක සැප බෙදා ගත්තු කෙනෙක් කියන හැඟීම බොහෝ දෙනෙකුට ඇති වෙනවා. විශේෂයෙන් කාන්තා පක්ෂය ඒ විදියට හිතනවා.
     හැම හමුවීමක් ම සිදුවෙන්නේ සසර පුරුද්දටමද....
  දෙන්නෙක් සසර පුරුද්දට හමුවෙලා ආදරෙන් බැඳෙන අවස්ථා තියෙනවා. ඒත් සෑම හමුවීමක් ම සිදු වෙන්නේ සසර පුරුද්දටම නෙමෙයි. තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය සසර පුරුද්දට හමු වුණු කෙනෙක්ද කියලා ජන්ම පත්‍රයෙන් දැනගන්න පුළුවන්. සසරේදී ආදරෙන් හිටපු කෙනෙක්ද, සසරේදී වෛරයෙන් හිටපු කෙනෙක්ද කියන එකත් ජන්ම පත්‍රයෙන් දැනගන්න පුළුවන්. සමහරු සසර පුරුද්දට මුණ ගැහිලා වෛරය පිරිමහනවා. ආදරය වගේම වෛරයත් භවයෙන් භවයට ගමන් කරනවා.
     දුටු පමණින් දෙන්නෙක් එකිනෙකා වෙත ආකර්ෂණය වන අවස්ථා තියෙනවා. ප්‍රථම දර්ශනයෙන්ම ආදරවන්තයින් බවට පත්වන අය ඉන්නවා. දුටු පමණින් ආකර්ෂණය වන ග්‍රහ පිහිටීම් සමහර කේන්දර තුල පිහිටනවා. දෙදෙනෙක් විවාහය ට ගැළපෙනවාදැයි බැලීමේදීත් දෙදෙනා එකිනෙකා වෙත ආකර්ෂණය වන තත්වයක් තිබෙනවාදැයි බැලිය යුතුයි.  ඒ ආකර්ෂණය හුදු තාවකාලික එකක්ද, සාංසාරික එකක්ද, ජීවිතය පුරා පවතින එකක්ද යන්න පරික්ෂා කළ යුතුයි.
     පුරුෂයෙකුගේ විවාහය සහ කාමය ප්‍රධාන වශයෙන් සිකුරු විසින් පාලනය කරනවා. කාන්තාවකගේ විවාහය සහ කාමය අඟහරු හෙවත් කුජ විසින් පාලනය කරනවා. මේ ග්‍රහයෝ දෙදෙනා කේන්දර දෙකෙහි පිහිටා තිබෙන ආකාරය අනුව දෙන්නෙක් එකිනෙක වෙත ආකර්ෂණය වනවාද නැද්ද යන්න තීරණය වෙනවා. දෙදෙනා එකිනෙකා වෙත ආකර්ෂණය වෙනවා නම් එම ආකර්ෂණය අතරමග බිඳ වැටෙනවාද නැතිනම් ජිවිත කාලය පුරා පවතිනවාද යන්නත් මෙම ග්‍රහයො දෙදෙනාගේ පිහිටීම පරික්ෂා කිරීමෙන් දැනගන්න පුළුවන්. සමහර විවාහයන් දින කීපයකින් බිඳ වැටෙනවා. වසරකින්, දෙකකින් වගේම වසර දහයකින් දොළහකින් බිඳ වැටෙන අවස්ථාත් තියෙනවා. විවාහයක් යනු ජිවිත කාලයටම පැවතිය යුතු දෙයක් විනා වසරකට දෙකකට හෝ වසර දහයකට දොළහකට සීමා විය යුතු දෙයක් නොවෙයි. කේන්දර තුල තිබෙන නොගැළපීම් විවාහයට පසුදාම ඉස්මතුවන අවස්ථාත් තියෙනවා. විවාහ වූ දා මධුසමයේදීම සියල්ල අවසන් වන අවස්ථා ගැනත් අහන්න ලැබෙනවා.
  කේන්දරයක තුන් වැනි භාවය සහ නව වැනි භාවය සසර සම්බන්ධතා සහ සසර පුරුදු ගැන තොරතුරු හෙළි කරනවා. විවාහය හා සහකරු, සහකාරිය සම්බන්ධ ග්‍රහයෝ මෙම ස්ථාන දෙක සමග සම්බන්ධ වන ආකාරය හොඳින් පරික්ෂාකර බැලිය යුතුයි. හත් වැනි භාවය, තුන් වැනි හා නව වැනි භාවය අතර සම්බන්ධයක් පවතින්නේ නම් සසර පුරුදු සහකරුවෙක් හෝ සහකාරියක් හිමි වෙනවා. මෙම ස්ථාන තුන අතර පවතින සම්බන්ධයට දොළොස් වැනි භාවයත්  සම්බන්ධ වනවා නම් දෙදෙනාගේ සම්බන්ධය ඊළඟ භවය තෙක් ම ගමන් කරනවා.
    දෙදෙනෙක් ඔවුනොවුන් කෙරෙහි මොන තරම් ආකර්ෂණය වුණත් ඒ ආකර්ෂණය අතරමග දී බිඳ වැටෙන්න පුළුවන්. එක දවසක් වත් නොදැක ඉන්න බැරි විදියට ආදරයෙන් බැඳෙන අයත් කාලෙක දි වෙන්වෙන අවස්ථා තියෙනවා. විවාහයට දෙන්නෙක් ගේ ගැළපීම පරීක්ෂා කරන කොට වඩාත් සැළකිලිමත් විය යුත්තේ මේ හින්දයි. දෙදෙනාගේ බැඳීම ජීවිතය පුරා පවතී දැයි අනිවාර්යයෙන්ම බැලිය යුතුයි.
    සමහරු ටික කාලයක් වෙන් වෙලා ඉඳලා නැවත එකතු වෙනවා. විවාහය බිඳ වැටෙන්නේ නෑ. තාවකාලිකව වෙන් වෙනවා. " මම නම් හිතුවේ විවාහය එතනින් ඉවරයි කියලා...හිතුවෙත් නැති විදියට එයා ආපහු මා ළඟට ආවා...දැන් අපි හිටියටත් වඩා ආදරෙන් ඉන්නවා." ඔන්න ඔහොම කියන අයත් ඉන්නවා. විවාහයක් තුල මොන තරම් දේවල් සිද්ද වෙන්න පුළුවන් ද..ඒත් මොන තරම් දේවල් සිදු වීමේ අවදානමක් තිබියදීත් සමහර ජ්‍යොතිෂවේදීන් විසි පොරොන්දම බලනවා විනා එතනින් එහාට මොනවත් බලන්නේ නෑ. දෙදෙනාගේ සසර සම්බන්ධය, අනොන්‍ය ආකර්ෂණය, අකර්ෂණයේ පැවැත්ම, සිතුවිලි අතර සමානකම ආදී වූ බොහෝ සෙයින් වැදගත් කාරණා බොහෝ දෙනෙක් අතපසු කරනවා.
   වරක් වැරදුණා ට පසුව සැළකිලිමත් වන අයත් ඉන්නවා. ඒ අය අත්දැකීම් ඇසුරින් නිවැරදි මාවත සොයා ගන්නවා. කලා ක්ෂේත්‍රයේ ඉහළ ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටි කලා කාරියක් ප්‍රථම විවාහයෙන් වෙන් වුණා. මුලදි ජ්‍යොතිෂය තඹේකට මායිම් නොකළ මේ තැනැත්තිය සම්මුඛ සාකච්ඡා වලදි පවා ජ්‍යොතිෂය හෙලා දකිමින් කතා කළා. කේන්දරයෙන් කියැවුණු දේවල් ඒ විදියටම සිද්ද වුණු බව අද මේ තැනැත්තිය පවසනවා. එපමණක් නොවෙයි අද වන විට ජ්‍යොතිෂය පිළිබඳව යම් දැනුමක්ද ලබාගෙන ඒ ඇසුරින් හිතවතුන්ට ද උපදෙස් ලබා දෙනවා.
         ආදරය වගේම වෛරයත් භවයෙන් භවයට ගමන් කරනවා. ආදරය පෙන්වාගෙන වෛරය පිරිමහගන්න තමන් වෙත සමීප වන අයට සමහරු රැවටෙනවා. මේ ආදරයමයි කියලා හිතනවා. විවාහයෙන් පස්සේ ආදරය නොපෙනී ගිහින් වෛරය පේන්න ගන්නවා. සසර පුරුදු ආදරය වගේම සසර පුරුදු වෛරයත් කේන්දර තුලින් හොයාගන්න පුළුවන්.කිරි කැටි දරුවන්ද සමග ජීවිතය නැති කරගත් බිරින්දෑවරු ගැන පුවත් බොහොමයක් මෑත කාලය තුල අසන්නට ලැබුණා. බිරින්දෑවරු විසින් සැමියන් ඝාතනය කළ පුවත්, සැමියන් විසින් බිරින්දෑවරු ඝාතනය කළ පුවත් අනන්ත අසන්නට ලැබෙනවා. මුලදි දෙවිවරු දේවතාවියෝ වගේ ජීවිතයට සමීප වන ඇතැමුන් පසුව යක්ෂයින් යක්ෂණියන් බවට පත්වෙන අවස්ථා සුලභයි. 
       සිත සොරා ගත්තද, අමතක කරන්නට නොහැකි ලෙස හිතට වැදුනද, ඒ පුද්ගලයා තම සාංසාරික සහකරුමයි, සහකාරියමයි සිතා පිළිගන්නට යාම සුබදායක නෑ. ජන්මපත්‍ර ඇසුරින් ලබා ගත යුතු මග පෙන්වීම මෙහිදී විශේෂයෙන් වැදගත් වෙනවා.

           ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය
   දේශමාන්‍ය ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර 

1 comment:

  1. adaraya penwa pasuwa wairayen iwara wenne janmayen ena deyak nisa wenna ethi neda....???

    ReplyDelete